Home » » බන්ධනාගාරවල පහසුකම් කඩිනමින් සපයන්න.. සිරකරුවන් දෙස මානුෂීයව බලන්න..- ජනපති උපදෙස්

බන්ධනාගාරවල පහසුකම් කඩිනමින් සපයන්න.. සිරකරුවන් දෙස මානුෂීයව බලන්න..- ජනපති උපදෙස්

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලධාරීන්ට උපදෙස් දෙයි.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව සිටිති. ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

බන්ධනාගාර තුළ පවතින අඩු පාඩු සහ ගැටළු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කරනු පිණිස අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

බන්ධනාගාර ඇතුළත දැඩි තදබදය පිටුදැකීම පිණිස දැනට හඳුනාගෙන ඇති ස්ථානවල පෙර සවි ක්‍රමයට සිර ගෙවල් ඉදි කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

විදෙස් රටවල සිර මැදිරිවල ආකෘති අධ්‍යයනය කර පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

රස පරීක්ෂක, නීතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුවල ප්‍රමාදයන් නිසා අතිවිශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරතව සිටිති. රේගුව, පොලීසිය, බන්ධනාගාරය, පුනරුත්ථාපන ඇතුළු අදාළ ආයතන එකතුව ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර පවතින ගැටළු නිරාකරණයට පියවර ගත යුතු යැයි ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

අධිකරණ අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි, බන්ධනාගාර පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, අදාළ අමාත්‍යාංශ ලේකම්වරු සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Share this article :

0 Post a Comment:

Post a Comment

New Gadget News

Contact Form

Name

Email *

Message *

Latest News

NEWS LANKA

 

Copyright © 2020. News Lanka

powered by Blogger